ශ්‍රී ලාංකික විද්‍යාර්ථීන් අතින් නිමවුන රාවණා 1 යානය අභ්‍යාවකාශයට

රයිට් සහෝදරයන්ට ප්‍රථම ආකාශය අතික්‍රමණය කල රාවණා රජුගෙන් පැවත එන ද්වීපයක් වූ අපි, ලෝකය හමුවේ අභ්‍යාවකාශ අතික්‍රමණයට පමණක් බර අඩියක් පිටුපසට තබා තිබුනා. නමුත් ඒ අඩිය යලිත් ඉදිරියට තබන්නට ශ්‍රී ලාංකික විද්‍යාර්ථීන් දෙදෙනෙක් පසුගියදා මුල පුරා තිබුනා.
ඒ ශ්‍රී ලාංකිකයන් විසින් නිපදවන ලද ප්‍රථම චන්ද්‍රිකාව “RAVANA 1” යනුවෙන් ලෝකයට හඳුන්වා දෙමිනුයි.
ජපානයේ කියුෂු තාක්ෂණ ආයතනය විසින් දියත් කරන ලද BIRDS ව්‍යාපෘතියට ශ්‍රී ලංකා, භූතාන, නේපාල සහ ජපන් ජාතික ශිෂ්‍යයන්ගේ සහභාගීත්වය ලබා ගන්නට යෙදුනා. ඒ ව්‍යාපෘතිය යටතේ මූල්‍ය ප්‍රතිපාදන ලබා ගනිමින් “RAVANA1” නිර්මාණය වුනා. ඒ, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ තරිඳු ලක්මාල් දයාරත්න සහ දුලානි චාමිකා විසින්.
තරිඳු දයාරත්න පින්නවල ජාතික පාසලෙන් සිය ද්විතීක අධ්‍යාපන කටයුතු හමාර කොට පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ඉංජිනේරු පීඨයට තේරී පත් වන්නට සමත් වූවෙක්. ඉන් පසු විදුලි හා විද්‍යුත් ඉංජිනේරු උපාධිදාරියෙකු ලෙස ඔහු අභ්‍යාවකාශ ඉංජිනේරු විද්‍යාව පිලිබඳ වැඩිදුර හැදෑරීම සඳහා ජපානයේ කියුෂු තාක්ෂණ ආයතනයට එක් වූ අතර, එහි සමීක්ෂණ ඉංජිනේරුවරයෙකු වශයෙන් සේවය කරන්නට යෙදුනා. එහි ලා BIRDS-3 ව්‍යාපෘතිය යටතේ සන්නිවේදන කටයුතු පිලිබඳ වගකීම ඔහු විසින් දරන්නට යෙදුන අතර, ඇන්ටනා මෙහෙයුම් පද්ධති පිලිබඳ ද්විතීක වගකීම් භාර පුද්ගලයෙකු ලෙසද ඔහු පත් කර තිබුනා.
දුලානි චාමිකා කොට්ටාව ධර්මපාල විද්‍යාලයෙනුත්, පසුව සිරිමාවෝ බන්ඩාරනායක විද්‍යාලයෙනුත් පාසල් අධ්‍යාපනය හදාරන්නට යෙදුනා. පසුව Mechatronic ඉංජිනේරු විද්‍යාව පිලිබඳ උපාධිය ආසියානු තාක්ෂණ අධ්‍යායතනය යටතේ සම්පූර්ණ කරන ලද ඇය ආතර් සී ක්ලාක් නවීන තාක්ෂණය පිලිබඳ ආයතනය යටතේ සමීක්ෂණ ඉංජිනේරුවරිියක් ලෙස සේවය කරනවා. කියුෂු තාක්ෂණ ආයතනයේ වැඩිදුර අධ්‍යාපන කටයුතු හදාරන අතරතුර ඇය BIRDS-3 ව්‍යාපෘතියට එක් වන්නේත් එම ව්‍යාපෘතියේ ඇන්ටනා මෙහෙයවීම් පද්ධති පිලිබඳ වගකීම් දරන්නියක් ලෙසින්.

image_875ebea7df
කෙසේ වෙතත් මොවුන් දෙදෙනාගේ එකතුවෙන් නිමැවුනු සාඩම්බරණීය නිපැයුමක් වන RAVANA 1 පසුගිය පෙබරවාරි දහ අට වන දින ජපාන අභයාවකාශ ඒජන්සිය වෙත බාර දීම සිදුකලා.
ඉතින්, perabeats සහෘද එකමුතුව වන අපි, අති සාර්ථකව සිදුකරන ලද මෙම නිර්මාණය වෙනුවෙන් මෙසේ ඔවුන් දෙපලට සුභාශීංසන එක්කරන අතර, තව තවත් මෙවැනි නවමු නිර්මාණ ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝකයට ගෙන යෑමට ඔවුන්ට ධෛර්යය ශක්තිය ප්‍රාර්ථනා කර සිටිමු.

රචනය – මදාරා ගුණවර්ධන
සංස්කරණය – ට්‍රිෂානි රණසිංහ

Leave a comment